නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ’ගබ්භමෙකෙ උප්පජ්ජන්ති - නිරයං පාපකම්මිනො සග්ගං සුගතිනො යන්ති - පරිනිබ්බන්ති අනාසවා’ සැදැහැවත් පින්වතුනි, කර්මයත් පුනර්භවයත් අතර පවතින්නේ එක්තරා විදියක චක්‍රාකාර සම්බන්ධයක්. යම්කිසි විපාකවාරයක් හැටියට උත්පත්තියක් ලබන සත්ත්වයා නැවතත් කර්ම රැස්කිරීමේ දී අර කර්ම වේගයටම නතු වෙලා, අවනත වෙලා ක්‍රියා කිරීමෙන් සංසාරය දිගින් දිගටම ඇදගෙන යනවා. කර්ම ශක්තිය සංසිඳවලා සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ ධර්ම ශක්තිය පිහිට කර ගෙනයි. කර්මචක්‍රය කොයි තරම් බලගතු උනත් අවසානයේ දී ධර්ම චක්‍රය ජය ගන්නා බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝකයාට පහදා දුන්නා. අන්න ඒ කාරණයට අදාළ යම් යම් සාධක අද අපි මේ මාතෘකා කරගත්තු ගාථාවෙනුත් නිදාන කථාවෙනුත් මේ පින්වතුන්ට අහන්න ලැබෙනවා ඇති. ජේතවනාරාමයේ වැඩ වාසය කළ ‘තිස්ස’ කියන රහතන් වහන්සේ නමක් අවුරුදු දොළහක් තිස්සෙම එක්තරා මැණික් කරුවෙකුගෙ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ මැණික්කරුත් භාර්යාවත් මේ ස්වාමීන් වහන්සේට මව්පිය ස්ථානයෙහි ඉඳගෙන සියලු ඇප උපස්ථාන කරමින් දානය එහෙම පූජා කළා. එක දවසක්දා මේ ස්වාමීන් වහන්සේ මැණික්කරුගේ ගෙදරට වඩිනකොට ඒ මැණික්කාරයා මස් කපමිනුයි හිටියේ. ඒ වෙලාවෙම මේ ස්වාමීන්වහන්සේ බලාගෙන ඉන්න අතරේ කොසොල් රජ්ජුරුවන්ගෙන් දූතයෙක් ආවා මැණිකකුත් අරගෙන “මේ මැණික ශුද්ධ කරලා විදලා එවන්න කියල රජ්ජුරුවෝ කිව්වා” කියල. මේ මැණික්කාරයා මස් කපමින් හිටිය ගමනේ ලේ තැවරුන අතින්ම අර මැණික අරගෙන පෙට්ටිය උඩ තියලා අත හෝදගන්න ගියා. මේ ගෙදර හිටියා හුරතලයට ඇතිකරන කොස්වා ලිහිණියෙක්. මේ පක්ෂියා ලේ ගඳට මේ මැණික මස් කෑල්ලක් කියලා හිතලා ගිල්ලා, මේ තෙරුන් වහන්සේ බලාගෙන ඉන්දෙද්දී. මැණික්කාරයා ගේ අතුලේ ඉඳලා ඇවිත් බලනකොට මැණික නැහැ. ඊළඟට ඇහුවා තමන්ගේ භාර්යාවගෙන් දරුවන්ගෙන් එහෙම මැණික ගත්තාද කියලා. ඔවුන් ගත්තේ නෑ කිව්වට පස්සේ ගේ අතුලට ගිහිල්ලා භාර්යාව එක්ක සාකච්ඡා කරනවා “එකත් එකටම මේ හාමුදුරුවෝ තමයි ගන්න ඇත්තේ” කියල. භාර්යාව කියනවා “අපොයි එහෙම කියන්න එපා. මෙච්චර කාලයක්, අවුරුදු දොළහක් තිස්සේ, මේ ස්වාමීන් වහන්සේගේ කිසි වරදක් අපිට පෙනුනේ නෑ.” නමුත් මේක අහුවෙ නෑ මැණික්කාරයා. ඇවිල්ල ඊළඟට රහතන්වහන්සේගෙන් අහනවා “දැන් මෙතන තිබුණ මැණික කවුද ගත්තේ? ස්වාමීන් වහන්සේද ගත්තේ?” කියලා. “නෑ මම ගත්තේ නෑ” කියල උන්වහන්සේ කිව්වා. “වෙන කෙනෙක් මෙතන හිටියේ නෑ. ස්වාමීන් වහන්සේ තමයි ගන්න ඇත්තේ. මට ඒ මැණික දෙන්න” කියල කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේට කරකියා ගන්න දෙයක් නෑ. ඊළඟට ආයිත් මේ මැණික් කාරයා ගේ අතුලට ගිහිල්ලා භාර්යාව එක්ක සාකච්ඡා කරනවා. “එකත් එකටම මේ හාමුදුරුවෝ තමයි ගන්න ඇත්තේ. මම වද දීලා හරි මෙක අහන්න ඕන” කියල. “අපොයි ඒක නම් කරන්න එපා. අපි විනාශයි ඒක කළොත්. ඊට වැඩිය හොඳයි රජ්ජුරුවන්ට දාසයෙක් වෙන එක මුළු පවුලම” කියලා ඈය කිව්වා. එතකොට මේ මැණික්කරු කියනවා “අපි ඔක්කොම දාසයෝ උනත් මේ මැණිකේ වටිනාකම ගෙවෙන්නේ නෑ” කියල දැඩිව ගත්තු අදහස පිට ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේගේ හිස වෙළුවා රෑනකින්. වෙළලා හරියට තිරිංගයක් වගේ ලී කැබැල්ලකින් තද කළා. ක්‍රම ක්‍රමයෙන් වද දෙමින් ඊළඟට අහනවා මැණික ගත්තද කියලා. ඉතින් මේ තද කරන්න තද කරන්න මේ ස්වාමීන් වහන්සේගේ නාසයෙන් කණෙන් ලේ ගලන්න පටන් ගත්තා - කටින් එහෙමත්. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ ඉවසගන්න බැරිව ඇදගෙන වැටුනා බිම. කොස්වා ලිහිණියා ඒ ලේ ගඳට ඇවිල්ලා ලේ බොන්න සූදානම් වෙනකොට මැණික්කාරයා අර ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබුණ තරහින්ම “තෝ මොකක්ද මෙතන කරන්නේ” කියල බැනලා අර කොස්වා ලිහිණියාට පයින් ගැහුවා. ඒ සතා එහෙමම මැරිලා උඩු බැල්ලෙන් අතට වැටුනා. ස්වාමීන් වහන්සේ දැක්කා මේක. දැකලා කියනවා “උපාසකය, මේ බැම්ම ටිකක් බුරුල් කරන්න. බුරුල් කරලා බලන්න අර කුරුල්ලා මැරිලද කියල.” “ඌ වගේම නුඹත් මැරියන්” කියලා මැණික්කරු කිව්වා. ඔන්න එතකොට මේ ස්වාමීන්වහන්සේ තේරුම් ගත්තා මේ සතා මැරුණ තමයි කියල. ඔන්න ඊළඟට කියනවා “උපාසකය, මැණික ගිල්ලෙ මේ කුරුල්ලයි. මම ඒක කිව්වේ නැත්තේ මේ සතාගේ මරණය වෙන නිසා. මා මැරුණත් ඒක කියන්නේ නෑ. දැන් ඉතින් මේ සතා මැරුණ නිසයි මම කියන්නේ” කියල කිව්වා. ඔන්න එතකොට මැණික් කාරයා මේ සතාගේ බඩ පළලා බලනකොට මැණික තියෙනවා. ඊළඟට ලොකු සංවේගයක් ඇති උනා. ඇවිල්ල ස්වාමීන් වහන්සේගේ පාමුල වැඳවැටිලා “අනේ මම නොදැනුවත්කමින් කරපු එකට මට සමාව දෙන්න” කියල ඉල්ලා හිටියා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා. “උපාසකය, මෙක ඔබගේ වැරැද්දකුත් නොවෙයි. මගේ වැරැද්දකුත් නොවෙයි. මේක සංසාර දෝසයක්. මේක සංසාර දෝසයක්, සංසාරයේ වැරැද්දක්. ඒක නිසා මම ඔබට සමාව දෙනවා.” එතකොට මේ උපාසකයා කියනවා “ස්වාමීනි, මට සමාව දෙනවා නම්, වෙනදා වගේම මේ ගෙදරට ඇවිල්ලා පිණ්ඩපාතය වළඳන්න.” එතකොට කියනවා, “නෑ උපාසකය. මට දැන් තේරෙනවා මෙකේ ආදීනව - මේ ගෙවල් ඇතුළට යාමේ - ගේක වහලය යටට යාම නිසයි මෙක වෙන්නේ. මේ විදියේ දෙයක්. ඒක නිසා මගේ පාවල ශක්තිය ඇතිතාක් මම පිණ්ඩපාතයේ වඩිනවා.” කියලා ඒ වේලාවෙම ධුතාංගයක් සමාදන් උනා. එක්තරා ගාථාවකුත් ඒ ධුතාංගයට අදාළ විදියට ප්‍රකාශ කරලා. ‘පච‍්චති මුනිනො භත‍්තං - ථොකං ථොකං කුලෙ කුලෙ <>/br> පිණ‍්ඩිකාය චරිස‍්සාමි, අත්‍ථි ජඞ‍්ඝබලං මම’ ‘පිණ්ඩපාතේ වඩින භික්ෂුව සඳහා ඒ ඒ ගෙවල්වල බත් ටික ටික පැසෙනවා. මම තාම මගේ පාවල ශක්තිය තිබෙන නිසා පිණ්ඩපාතේ වඩිනවා’ කියල ඒ විදියට ප්‍රකාශ කළා. එහෙම කිව්වට මොකද ඒ ස්වාමීන් වහන්සේ අර ඇතිඋන ආබාධයෙන් වැඩිකල් නොගෙවස් පිරිනිවන් පෑවා. ඊළඟට ඒ වගේම මෙතන කියනවා අවසානයේදී - කාලයක් ගියාට පස්සේ - අර මැණික්කාරයත් මරණයට පත් උනා මැණික්කාරයාගේ භාර්යාවත්. ඔය විදියට ඒ අය මරණයට පත් උනාට පස්සේ සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා මේ සිද්ධියට අදාළ අය කොයි කොයි තැන්වල ද උපන්නේ කියල. අන්න ඒ අවස්ථාවේ දී තමයි මේ අපි මාතෘකා කළ ගාථාව බුදු පියාණන් වහන්සේ වදාළේ. මෙතන කියවෙනවා අර කොස්වාලිහිණියා - සමහරවිට ගෙදර ඇසුරු කළ නිසා වෙන්න ඇති - කොස්වාලිහිණියා අර මැණික්කාරයාගේ භාර්යාවගේ කුසේ උපන්නා කියලා. ඊළඟට ඒ මැණික්කාරයගේ භාර්යාව - යම්කිසි අවස්ථාවක ඔක්කොම දෙනා මිය ගියාට පස්සෙයි මේ ප්‍රශ්නෙ පැන නැගිලා තියෙන්නේ - ඒ භාර්යාව මිය ගිහිල්ලා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවා. මැණික්කාරයා නිරයේ - අර රහතන්වහන්සේ කෙනෙක් මැරෙන විදියට මාරාන්තික විදියට පීඩාවක් කළ නිසා නිරයේ උපන්නා. ඒ ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවා. මෙන්න මේ කාරණය හෙළිවෙන ගාථාව තමයි අපි අර මාතෘකාව වශයෙන් තැබුවේ. ’ගබ්භමෙකෙ උප්පජ්ජන්ති - නිරයං පාපකම්මිනො සග්ගං සුගතිනො යන්ති - පරිනිබ්බන්ති අනාසවා’ ‘ඇතැම් කෙනෙක් මව් කුස උපදිනවා. පව් කරන අය නිරයෙ උපදිනවා. සුගති කියල කියන හොඳ පැවැත්ම ඇති, හොඳ මාර්ගයේ යන අය ස්වර්ගයෙහි උපදිනවා. දිව්‍ය ලෝකයෙහි උපදිනවා. අනාසව - ආශ්‍රවයන්ගෙන් මිදුනු ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා, රහතන්වහන්සේලා, පිරිනිවන් පානවා.’ කියන ටික පමණයි මේ ගාථාවෙන් කියවෙන්නේ. එතකොට මෙන්න මේකයි පුවෘත්තිය. මේ ගාථාවෙන් පෙන්නුම් කරන්නේ, ඇත්ත වශයෙන්ම, අර කර්මානුරූපව ඒ ඒ අය උත්පත්තිය ලබන හැටි. දැන් අපි වෙනදා වගේම මෙතනුත් මේ කථාවෙනුත් ගාථාවෙනුත් අපට ගතහැකි උපදේශ, ධර්මෝපදේශ, ධර්මකාරණා මතුකරගන්න බලමු.   මේ කථාන්තරය ඇත්ත වශයෙන්ම සංවේගජනක කථාවක්. එක පැත්තකින් බලනකොට මේ කථාන්තරය නියම මැණික හඳුනාගන්න බැරිවුන මැණික්කාරයෙක් පිළිබඳ කථාන්තරයක්. අනික් පැත්තෙන් බලනකොට තමන් අතීතයේදී කරන ලද බරපතල කර්මයකට කර්ම විපාකය ලබාගන්න අවුරුදු දොළහක් තිස්සේ එකම ගෙදරකට වැඩම කළ රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව කථාවක්. ඉතින් අවුරුදු දොළහක් තිස්සේ කුලුපග වෙන විදියට (කුලුපග කියන වචනය යෙදිලා තියෙනවා මෙතන “මැණික්කාර කුලුපග තිස්ස” කියල කියන්නේ) මැණික්කාරයාගේ ගෙදරට ආපු - කුලුපග - හාමුදුරුවෝ පිළිබඳවයි මේ පුවෘත්තිය තියෙන්නෙත්. ඒ තරම් කුලුපග ස්වාමීන් වහන්සේ. නමුත් අර සුළු වේලාවක ඇතිවුන සැකය නිසා මැණික්කාරයා අර විදියට බරපතල වධ හිංසා දීලා රහතන්වහන්සේ මරණයට පත්වෙන ආකාරයට ක්‍රියා කළා. මේක තුළිනුත් අපට යමක් හිතාගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ වඩින වේලාව වෙන කොට ඒ මැණික්කාරයා හිටියේ මස් කපමින්. ලේ පෙරෙන එක වැඩක ඉඳලා තවත් ලේ පෙරන වැඩකට මාරුවීම බොහොම පහසු බවත්, අපිට ඒ අනුව හිතාගන්න පුලුවන්. අර තරම් දරුණු වධහිංසා දෙන්න පෙළඹුනේ ඒක ඒතරම් බරපතල එකක් හැටියට පෙනුනේ නෑ. මැණික ඊට වැඩිය ලොකු උනා. මේ සංසාරයේ වටිනාකම තේරුම් ගත්තෙ නෑ. අවුරුදු දොළහක් තිස්සේ ඒ වැඩිය ගුණවන්ත ස්වාමීන් වහන්සේ - රහතන් වහන්සේ - අඳුන ගන්න බැරිවුනා. ඊට වැඩිය ලොකු උනා අර රජ්ජුරුවො එවාපු මැණික. ඉතින් අන්න ඒකෙන් එක පැත්තක් හිතා ගන්න පුළුවන්. ඊළඟට ඒ එක්කම අපිට තේරෙනවා මෙතන යම්කිසි බරපතල කර්මයක් මේ ස්වාමීන් වහන්සේට පලදෙන්න තිබුනා. මෙතන නාට්‍යාකාර සිද්ධි සමූහයක් තියෙන්නෙ බැලුවහම. බොහෝවිට කර්ම විපාක විඳින්න සිද්ධ වෙනකොට - මේ කාලේ පවා අපිට පේනවා - අමුතු විදියකට සිදුවීම් රාශියක් පෙළගැහිලා එනවා. දැන් මෙතන ස්වාමීන් වහන්සේ එදා වඩිනකොට මැණික්කාරයා මස් කපමින් ඉන්නේ. ඊළඟට රජ්ජුරුවන්ගෙන් මේ පණිවිඩය මැණික පිළිබඳ කථාන්තරය ආවා. ඊළඟට අර කොස්වා ලිහිණියත් එතන. ඔය ඔක්කොම ගැලපිලා අන්තිමට සිද්ධ උනේ රහතන්වහන්සේට අර මාරාන්තික තුවාලය - එහෙම නැත්නම් පිරිනිවන් පාන්න - සිද්ධ උනා, ඒ රහතන්වහන්සේගේ කර්මය නිසා. අන්න ඒක නිසාම තමයි, ඒක තේරුම් අරගෙනයි, ඒ රහතන්වහන්සේ අර මැණික්කාරයා සමාව ඉල්ලන කොට ඉතාමත්ම ගුණවත් අන්දමින් සමාව දෙන අතරේම කිව්වා “මෙක ඔබේ වරදකුත් නොවෙයි. මගේ වරදකුත් නොවෙයි. සංසාර දෝෂයයි” කියල. සංසාර දෝෂය කියල කියන්නේ කරපු කර්මවලට විඳින්න වෙනවා. කර්ම විපාක ගෙවන්න වෙනවා. ඔන්න ඔය කාරණයයි අපිට එතනින් ගන්න තියෙන්නේ. ඒ එක්කම අපට මේ ස්වාමීන් වහන්සේගේ උතුම් ගුණ සම්භාරය පැහැදිලි වෙනවා. දුබලකමක් හැටියට තිබුනේ අර කිව්වා වගේ කුලුපග වීමයි. කුලුපගවීම කියන වචනය තුළ තියෙන අර්ථය - දැන් කුලුපගවීම කියන එක ගිහි ලෝකේ නම් හොඳ වචනයක් හැටියට සලකනවා. සංඝයා වහන්සේලාට නම් කුලුපගවීම දෝෂයක්. ඉතින් ඒක නිසාම තමයි මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ වරද තේරුම් අරගෙන - අර කුලුපග වීමේ ආදීනව තේරුම් අරගෙන - පිණ්ඩපාතේ යාමට, ගෙන්ගෙට පිණ්ඩපාතේ යාමට, අධිෂ්ඨාන කරගත්තෙ. කොහොම නමුත් මේ ස්වාමීන් වහන්සේගෙ උතුම් ගුණ සම්භාරය අපට පේනවා. අර තරම් මාරාන්තික වේදනාවක් ඇවිල්ලත් සාක්කි දුන්නේ නෑ අර කොස්වා ලිහිණියාට විරුද්ධව. කාටවත් බයේ නොවෙයි. තමන්ගේ ඒ ශික්ෂාපදය බිඳෙන නිසා. දැන දැන සතෙකුට මරණය සිද්ධවෙන අන්දමට ඒ විදියට සාක්කියක් දුන්නේ නෑ. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ වේලාවේ ඒ සතා කෙරෙහි ඇති කරුණාව නිසා සත්‍යය නොකියා හිටියා. එතන වටිනා ගුණයක් තියෙනවා. ඒ වගේම අර තමන්ට පීඩා කළ මැණික්කාරයා පිළිබඳව ද්වේෂයක් ඇති කර ගත්තෙ නෑ. ඔන්න ඔය විදියේ වටිනා ගුණ සම්භාරයක් ඒ සංඝයා වහන්සේගේ ජීවිතය තුළින් පැහැදිලි වෙනවා. ඊළඟට අපි මේක ගැන තව කල්පනාකාරීව බලනවා නම් මේක තුළින් අපිට පේන්නේ කර්මයත් විපාකයන්. මේ ගාථාවෙන් කියවෙන්නෙත් ඒකයි. ඇතැම් කෙනෙක් මව් කුස උපදිනවා. ඇතැම් කෙනෙක් අර විදියට නිරයේ. දැන් මෙතන අර මැණික් කාරයාට නිරය හිමි උනා. ඊළඟට භාර්යාව - ඒ දෙදෙනා අතරත් වෙනස පේනවා - ඒ දෙදෙනාගෙන් භාර්යාවට දැඩි ශ්‍රද්ධාව තිබුන නිසා ඒක අනුමත කළේ නෑ. තමන්ගේ ස්වාමිපුරුෂයා කරන්න යන එක ස්වාමීන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිසා අනුමත කළේ නෑ. ඒ ගුණ සම්භාරය නිසාත් ඒ කරන ලද උපස්ථානය නිසාත් ඒ තැනැත්තී දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලැබුවා කියන එකයි එතන කියවෙන්නෙ. ඊළඟට රහතන්වහන්සේ කොයි ආකාරයෙන් නමුත් අපි කවුරුත් දන්නවා පිරිනිවන් පෑමයි එතනින් කෙරෙන්නෙ. ඉන් පස්සේ උත්පත්තියක් නෑ. නමුත් මෙන්න මේ කථාන්තරය තුළින් අපට පේනවා මේ කර්මයන් විපාකයන් අතර - නැත්නම් කර්මයන් පුනර්භවයන් අතර - තියෙන සම්බන්ධතාව. මේ කර්ම ධර්මතාව - කර්මය කියලා කියන මේ නියාමතාව - බුදු රහතුන් වහන්සේලාටවත් ඉක්මවන්ට බැරි තරම් පුදුම විදියේ බලගතු ධර්මතාවක්, මේ ලෝකයේ තියෙන නියාමතාවක්. ඉතින් ඒක සංසාරික සත්ත්වයා ඇත්ත වශයෙන්ම පිළිගෙන ජීවත්වෙන්ට උත්සාහ කරන්ට ඕන. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේත් කර්මයක් ගැන විශ්වාස කර නැති, කර්ම විපාක ගැන විශ්වාස කර නැති, නොයෙකුත් ශාස්තෘවරු හිටියා. මේ කාලයේත් සමහර විට ඒ විදියේ මතිමතාන්තර ඇති අය ඉන්න පුලුවන්. ඒක නිසා විශේෂයෙන්ම මේ කාලයේත් අපට මේ ධම් දේශනාවලදී නැවත මතක් කර දිය යුතු කාරණයක් තමයි මේක. එලොවක් මෙලොවක් ගැන නොසිතන විදියේ නොයෙකුත් දෘෂ්ටිවාද ලෝකයේ තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව - අප කල්පනා කරලා බලනවා නම් අපේ ක්‍රියාවලිය අනුව අපි කරන කර්මවල හොඳ නරක ස්වභාවය අනුව - අපට නැවත භවයක් උත්පත්තියක් ලැබෙනවා. ඒ උත්පත්තියේ ලැබෙන සැප හෝ දුක අර ඒ කර්මයේ ඇති කුශල අකුශල භාවය අනුවයි තීරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණයත්, ඒ වගේම අපට කර්ම කිරීමේදී පාප කර්මයක් කරන්න සිත පෙළඹෙන්නේ කොයි විදියේ අවස්ථාවකදීද කියන එකත් කල්පනා කරලා බලන්ට ඕන. දැන් අපි කවුරුත් දන්නවා ශීල සමාධි ප්‍රඥා කියලා මේ ශාසනයේ ශික්ෂා තුනක් තියෙනවා. මේවායේ පරමාර්ථය මොකක්ද කියලා අපි හිතලා බලමු. දැන් යම්කිසි වේලාවක ක්‍රියාවක්, කර්මයක්, කරන්න සිද්ධ වෙනකොට ඒ අවස්ථාවේ අපේ ඒ වර්තමාන මොහොත තමයි ඉතාමත්ම වටින්නේ. මොකද, අපි කලින්ම ආරම්භයේදී කිව්වා වගේ අපට සංසාරික වශයෙන් යම් යම් පුරුදු එනවා. එකම කර්මයක් කිරීම නිසා, පාපකර්ම කරපු කෙනාට ඒකට අවනතව ඒ විදියටම කර්ම කරන්න සිද්ධවෙන වේලාවල් තියෙනවා. නමුත් මෙවා මැඩ පවත්වා ගන්න පුළුවන් වෙන්නේ වර්තමාන මොහොත ගැන සැලකිලිමත්ව සිටීමෙනුයි. කොටින්ම කියතොත් අර බුදු පියාණන් වහන්සේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියලා වදාළේ මොකද මේ චේතනාව කියන ඒ සුළු මොහොතේදී තමයි මේ කර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපට යමක් කරන්න පුළුවන් වන්නේ. ඒක ඉතාමත්ම වැදගත් දෙයක් - මේ චේතනා මොහොත. අතීතයේ කළ දේ කළා. ඒකේ විපාකය එනවා. ඒ විපාකය ආවත්, ඒ විපාකය එන අවස්ථාවේදී, අපේ ස්ථාවරය, අපේ අධිෂ්ඨානය, යම්කිසි හොඳ පැත්තකට නමල තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේ අපට බේරුමක් තේරුමක් ඇතිව කටයුතු කරන්න පුළුවන්. වගකීමක් ඇතිව කටයුතු කරන්න පුළුවන්. තමන්ගේ සංසාරික ගමන හොඳ පැත්තට යොමුවෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. දැන් අර එකම සිද්ධිය දැක අර මැණික්කාරයා එක ආකාරයකට ක්‍රියා කළා. මැණික්කාරයාගේ භාර්යාව තව ආකාරයකට ක්‍රියා කළා. සංඝයා වහන්සේ අර රහතන් වහන්සේ, තවත් ආකාරයකට - රහතන් වහන්සේ, ඉතාමත්ම උතුම් උත්කෘෂ්ට අන්දමින්. අමාරු අවස්ථාව තමයි. නමුත් ඒව ජයගන්න පුලුවන් වන්නෙ යම්කිසි ස්ථාවරයක පිහිටියා නම් තමයි. යම්කිසි ආකල්පයක් කලින් ඇතිකර ගත්තා නම් තමයි. අන්න ඒක සඳහායි පින්වතුනි, මේ ශීලය කියල දෙයක් තිබෙන්නෙ. දැන් ඇතැම් කෙනෙක් මේ ශීලය භාවනාව ආදී දේ අනවශ්‍යය කියල කියනවා. මෙතන ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙතන මේ කෙරෙන්නේ මොකද්ද? අපිට මේ එදිනෙදා ජීවිතයේ පැන නගින නොයෙකුත් අවස්ථාවන් - ඇතැම් විට කර්මානුරූපව අපට එළඹෙන අවස්ථාවල් - ඒ වේලාවේදී ගතයුතු තීරණය ගන්න පුළුවන් වෙන්නේ අර විදියේ යම්කිසි අධිෂ්ඨානයක්, යම්කිසි ශීල අධිෂ්ඨානයක් වැනි හොඳ ස්ථාවරයක් තියෙනවා නම් පමණයි. විසිරුණු සිත පහසුවෙන්ම අනිත් අයගේ කර්මවලට ඇදිල යනවා. අන්න ඒක අපි මතක තබා ගන්න ඕන. විසිරුණු හිතක් ඇති පුද්ගලයා, කිසිම ස්ථාවරයක් නැති, හොඳ ආකල්පයක් නැති පුද්ගලයා, පහසුවෙන්ම අනිත් අයගේ කර්මවලට ඇදිලා ගිහිල්ලා නිරය ආදී තැන්වලට යනවා. මොකද, මේ සමාජය, ලෝකය, කියල කියන්නේ එක එක්කෙනා තම තමන් අරගෙන ආපු කර්ම වේග අනුව ක්‍රියාත්මක වෙන තැනක්. මේක හරියට බැලුවහම එක පැත්තකින් රූකඩ නැටුමක් වගේ දෙයක්. බුදු කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට, අභිඥාලාභීන්ට මේක පෙනෙන්නෙ හරියට රූකඩ නැටුමක් වගේ. අතීත කර්මානුරූපව ඒ විපාක අනුව යම් යම් දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒවා හමුවේ අර චේතනාව කියන අර සුළු මොහොත, චේතනා මොහොත, අපි හසුරුවාගත්ත නම් අන්න අපි දිනුවා. ඒකට උපකාර වෙන දේය තමයි ශීලය. දැන් මේ අවස්ථාවේදී මේ පින්වතුන් යම් ශික්ෂාපද සමූහයක් සමාදන් උනා. එයින් කෙරෙන්නේ මොකක්ද? හිතට, ප්‍රඥාවට, නුවණට, යම්කිසි අණ කිරීමක් කළා. අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා ‘මම මෙන්න මේ ශික්ෂාපදය - මේ ප්‍රතිපත්තිය රකිනවා.’ අන්න ප්‍රතිපත්තියක් ඇතිව එතකොට ක්‍රියා කරන්න පුළුවන්, ඒ ප්‍රතිපත්තිය සිහියට අරන්. මේ පින්වතුන් අහල තියෙනවා ‘සම්ප්‍රාප්ත විරති’ කියල කියන ශීලයේ එක ආනිශංසයක්. වැරැද්දක් කරන්න වේලාව ආවහම ඒ වේලාවේ එයින් වැළකිලා ඉන්න ශක්තිය ලැබෙනවා ශීල අධිෂ්ඨානය තුළින්, “මම මෙහෙම ශික්ෂාපදයක් සමාදන්වෙලා ඉන්නවා නේද, ඒක මම රකින්න නම් මේ විදියට කරන එක හරි නෑ” කියල. එතකොට ශීලය එක පැත්තකින් උපකාර වෙනවා අර විදියේ අවස්ථාවක අනිත් අයගේ කර්මවලට පටලැවෙන්නේ නැතිව තමන්ගේ ඒ උතුම් ප්‍රතිපත්තිය පෙරදැරි කරගෙන ආරක්ෂා වෙන්න. ඊටත් වඩා ඉහළ මට්ටකින් උපකාරී වෙනවා සමාධිය කියන එකට. සමාධිය කියල කියන්නේ සිත තැන්පත්කර ගැනීමයි. සිත සමාධිමත් කරගැනීම කියල කියන්නේ යම්කිසි තැන්පත් බවක් ලබාගන්නවා. නීවරණ ධම් කියල කියන සිතේ විසිරුණු ස්වභාවය ඉවත්කරලා එකඟකර ගන්නවා. එකඟවුන සිතකට තීරණයක් ගැනීම පහසුයි. යහපත් තීරණයක් ගන්න පුලුවන්. ඒ වගේම සමාධියේ උපේක්ෂාව වගේ තැනකට පත්වුනු කෙනෙකුට ඊටත් වැඩිය ඉහළින් තමාගේ ජීවන රටාවට ගැලපෙන ආකාරයට පැන නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන් ධර්මානුකුලව. ඊළඟට ඊටත් වඩා ඉහළ මට්ටම නමයි ප්‍රඥාව. ශීල - සමාධි - ප්‍රඥා. ප්‍රඥාව - එතන අර රහතන් වහන්සේගේ ජීවිතයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඔප් නැංවෙන්නේ, ඒ ප්‍රඥාවයි. ඒ විදර්ශනාමය ප්‍රඥාව - එහෙම නැත්නම් මාර්ග ඥානවලින් ලබා ගත්තු ප්‍රඥාව - අන්න ඒ තුළින් මේ කියාපු කර්ම සිදුවෙන අවස්ථාවලදී ආරක්ෂා වෙන්න විශේෂ ශක්තියක් ලැබෙනවා. ඉතාමත්ම ඉහළ උපේක්ෂාවක් එතන තියෙනවා. රහතන් වහන්සේලාගේ ඵල සිත තුළ තිබෙන උපේක්ෂාව පෙරදැරි කරගෙන මෙබඳු අවස්ථාවල්වල ඒවා ජයගන්න පුළුවන් වෙනවා. ඔන්න මෙයයි එතකොට ශීල, සමාධි, ප්‍රඥා කියන්නේ. ප්‍රායෝගික වශයෙන් ඒවා අපිට එදිනෙදා ජීවිතයේ උපකාරී වෙන බව අර විදියේ මිථ්‍යා මත ඉදිරිපත් කරන අයට මතක් කරලා දෙන්න වටිනවා.   දැන් මේක අපි එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් තවත් තේරුම් ගන්න පුළුවන් හැටියට කිව්වොත් දැන් මේ පින්වතුන් - අපි හිතමු - අලුත් කාර්එකක් ගත්තා. වාහනයක් ගත්තා. කොහොම කොහොම හරි එළවන්නත් යම්තම් හරි පුරුදු උනා. එහෙම පුරුදු උනා උනත් මේක පාරට දාලා අනිත් අය එළවන වාහන ගැන නොතකා, පාරේ නීති ගැන නොතකා, එළවන්න ගියොත් කොහෙන්ද කෙළවර වෙන්නේ? ජීවිතය යම්තම් රැකුණත් සමහර විට උසාවිවලට ගිහිල්ලා අනිත් අයගේ වාහනවලට හානි කිරීම නිසා වන්දි ගෙවන්න වෙනව. ඔය විදියේ කරදර රාශියකට මුහුණ පාන්න වෙනවා. එතකොට පාරේ නීතිය රකින්ට ඕන. ඊළඟට මෙක එළවන්න ඕනේ මන්පැත් බිල නොවෙයි හොඳ සිහි නුවණින්, හොඳට සිහි කල්පනාව ඇතිව, යම්කිසි ‘සමාධියකින්’ යුක්තව මේ වාහනය එළවන්නත් ඕන. ඊළඟට හදිසි අවස්ථාවල්වල, අනිකුත් අය තමන්ගේ වාහනයේ හැප්පෙන්න එන වේලාවල්වල එහෙම, ශීඝ්‍රව ක්ෂණිකව හිතලා ඒක ක්‍රියා කරවන්න පුළුවන් ප්‍රඥාවක්, නුවණක්, ඇතිකර ගන්නත් ඕන. ඉතින් එදිනෙදා ජීවිතයේ වාහනයක් එළවීම වැනි දේකට පවා ඔය විදියේ යම්කිසි ශීල - සමාධි - ප්‍රඥා මට්ටමක් ඕන. මේව වරදවා තේරුම් ගන්න එපා. මේ ගැඹුරු ධර්මය පමණට වැඩිය ලිහිල් කරලා කියනවා නොවෙයි. මේ සාමාන්‍ය නිදර්ශනයක් හැටියට කිව්වේ. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් යම්කිසි ශීලයක පිහිටලා පාරට බහින්නෙ. පාරේ තමන්ට අයිති පැත්ත දැනගන්න ඕන. අර දුගතිය - සුගතිය ගැන කිව්ව වගේ තමයි. වැරදි පැත්තට දාලා ගියා නම් වාහනය, එතනම ඉවරයි. පල්ලමට ගිහිල්ලා අන්තිමට විනාශ වෙලා යනවා. ඒවගේම සමහරවිට අනිත් වාහනත් එක්ක හැප්පිලා නොයෙකුත් විදියේ ගැටුම් ඇතිකර ගන්නවා. ඔන්න ඔය විදියේ තත්වයක් මේ ලෝකෙ තියෙන්නෙ. එක එක්කෙනා අරගෙන එන කර්ම වේගවලින් සංකීර්ණවුනු සමාජයක් මේ තියෙන්නෙ. අපිට පිටට පේන සමාජය නොවෙයි. එක් එක් පුද්ගලයා ඒ ඒ වේලාවට අපි හිතන්නේ නැති ආකාරයටයි හැසිරෙන්නෙ. අර කියාපු රූකඩ නැටුම් වගේ. දැන් අර අච්චර අවුරුදු දොළහක් තිස්සේ මව්පිය ස්ථානයෙහි ඉඳගෙන අර සංඝයා වහන්සේට උපස්ථාන කළ මැණික්කරු සුළු වේලාවක කළ බරපතල කර්මය නිසා අන්තිමට ඒ සියලුම කුසල් වහන විදියෙ ආනන්තරික පාප කර්මයක බැඳිලයි නිරයට ගියෙ. ඔයින් අපිට හිතාගන්න පුළුවන් අපිත් කොයිතරම් හොඳ මිනිස්සු උනත්, හොඳ අය උනත්, සමහර විට අන්න අර කියාපු ශීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ ධම් අප තුළ නැත්නම් මැණික් කාරයාට උනා වගේ එක සුළු වේලාවක කරන අකුශලයකින් භයානක විපාක නෙළාගන්න සිද්ධ වෙනවා. ඔන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ හරය. ශීල සමාධි ප්‍රඥා කියන්නේ කය වචනය හික්මවා ගැනීමේ ආරම්භක පියවර, ඊළඟට හිත තැන්පත් කරගැනීම, ඊළඟට ප්‍රඥාව කියල කියන්නේ ලෝකයත් ජීවිතයත් පිළිබඳව යථා අවබෝධය අනිත්‍ය, දුක්ඛ අනාත්ම කියල කියන ත්‍රිලක්ෂණය හරිහැටි වටහා ගැනීමෙන් යම් යම් මට්ටම්වලින් මේ සියලු කර්ම වේග සංසිඳවලා අවසානයේ ධර්මචක්‍රය තුළින් කර්ම චක්‍රයත් බිඳලා කර්ම චක්‍රය ජය අරගෙන මේ සංසාර ගමන කෙළවර කරන එක තමයි රහත් වෙනවා කියල කියන්නේ, ප්‍රඥාවෙන් - ඒ මාර්ග ඵල පැත්තෙන් බලනවා නම්. දැන් ඊළඟට අපි තවදුරටත් මේ ගැන හිතනවා නම් බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තිබෙනවා මේ කර්ම පිළිබඳව එක්තරා විග්‍රහයක්. ඒක මේ කථාවටත් ගැලපෙන නිසා අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරමු. කර්මය පිළිබඳ නා නා විධ විග්‍රහ බුදු පියාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවල ඉදිරිපත් කළා. එක තැනක උන්වහන්සේ දක්වනවා “මහණෙනි කර්ම වර්ග හතරක් තියෙනවා.” ඒක අපි සිංහල වචනයෙන්ම කිව්වොත් පහසුවෙන් තේරුම් ගන්න- 1. කළු විපාක ඇති කළු කර්ම තිබෙනවා 2. සුදු විපාක ඇති සුදු කර්ම තිබෙනවා 3. කළු සුදු විපාක ඇති කළු සුදු කර්ම තිබෙනවා 4. නොකළු නොසුදු විපාක ඇති නොකළු නොසුදු කර්ම තිබෙනවා ඔය විදියට කර්ම වර්ග හතරක් දක්වනවා. මේ එක එකක් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදියටයි තේරුම් කරන්නේ. කළු විපාක ඇති කළු කර්ම කියල කියන්නේ විශේෂයෙන්ම පඤ්චානන්තරිය කර්ම, මේ පින්වතුන් අහල ඇති ඔය මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ කෙනෙකුගේ මරණය සිදුකිරීම, ද්වේෂ සිතකින් තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම, ඊළඟට සංඝභේදකර්මය කියන ඔය පඤ්චානන්තරිය කර්මය කළොත් ඒකාන්තයෙන්ම නිරයේ උපදිනවා. එතකොට මෙතන ඒ විදියට කියන්නේ කළු කර්ම කියල කියන්නේ යම්කිසි කෙනෙක් පීඩාකාරී ස්වභාව ඇති කායකර්ම වාග්කර්ම මනෝකර්ම කරලා පීඩාකාරී ස්වභාවය ඇති තැනක උත්පත්තිය ලබනවා. මෙතන විශේෂයෙන්ම කියන්නේ නිරය. ඒක තනිකරම දුක් සහිත එකක්. ඒකයි ඒක කළු. කර්මයන් කළුයි. කර්ම විපාකයන් කළුයි. එහෙම තැනක උපන්නාම - මෙතැන කියැවෙනවා - අර පීඩාකාරී ස්පර්ශ ඒ තැනැත්තාව ස්පර්ශ කරනවා. මෙතන බලනකොට මහ පුදුම යෙදුමක් යෙදිලා තියෙන්නේ. කර්ම යන්ත්‍රයෙන් කෙරෙන්නෙ මේ ඔක්කොම. ඊළඟට ඒ පීඩාකාරී ස්පර්ශ නිසා ඒ තැනැත්තා ඒකාන්ත දුක් වේදනා රාශියකට මැදිවෙනවා. ඔන්න ඔය විදියටයි, එයිනුත් බුදුපියාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ, “කම්මදායාදා සත්තා” කියන වචනය. හැම කෙනාටම, හැම සත්ත්වයින්ටම, කර්මය දායාදයයි කියන එක පෙන්නුම් කරනවා, ඒ කියමනෙන්. ඒ කියන්නේ යම් කෙනෙක් අර විදියට කළු කර්මයක් කළා නම් කළු විපාක ගෙනදෙන, ඒකට අනුරූපවන නිරය ආදී තැන්වල උත්පත්තිය ලබනවා. උත්පත්තිය ලැබුනාම කොයි කොයි ආකාරයෙන් නමුත් ඒකට ගැලපෙන ස්පර්ශ - දුක් වේදනා ගෙන දෙන පීඩාකාරී ස්පර්ශ - විඳින්න සිද්ධ වෙනවා. ඒ කළු කර්ම. ඊළඟට සුදු විපාක ගෙන දෙන සුදු කර්ම. ඒ මොනවාද? ඒක තේරුම් කරන්නේ - එතන පෙන්නුම් කරනවා දශ කුශල කර්ම. දස අකුසල් වලින් වෙන්වෙලා ප්‍රාණඝාත, අදින්නාදාන, කාම මිථ්‍යාචාර. දැන් මේ අවස්ථාවේ සමාදන්වූ ශීලයට අදාළ වචනය පිළිබඳ දේවල් - බොරුකීම්, කේලාම්කීම්, පරුෂ වචන කීම්, නිෂ්ඵල වචන දෙඩීම්. ඊළඟට අභිජ්ඣා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියල කියන - විෂම ලෝභය, ද්වේෂය, මිථ්‍යාදෘෂ්ටිය කියල කියන ඒ අකුසල තත්ත්ව වලින් ඉවත් වෙලා කුසල් සිත් ඇතිකර ගැනීම තමයි මෙතන - සුදු කර්ම කියල කියන්නෙ. අන්න ඒ විදියටම ඒ සුදුකර්ම කළ කෙනා ගිහිල්ලා උපදිනවා ඒකාන්ත සැප ඇති සුභකිණ්හ කියන ඒ බ්‍රහ්ම ලෝකයේ. එතන ඉහළම මට්ටමින් ඒ කියන්නේ. එතකොට සුදු කර්ම කරලා සුදු විපාක ගෙනදෙන තැනක උත්පත්තිය ලබනවා. ඊළඟට කළු සුදු කර්ම කියල ප්‍රකාශ කරන්නේ අරව මිශ්‍ර විදියට - ඒ කියන්නේ අර විදියේ නරක කර්මත් කරනවා. ඒ එක්කම ඉඳ හිටලා කුසල් කර්මත් කරනවා. ඒ මිශ්‍ර විදියට කර්ම කරපු අය උපදින තැන් හැටියට සඳහන් කරනවා. මනුෂ්‍ය ලෝකය, ඇතැම් දිව්‍ය ලෝක, ඒ වගේම ඇතැම් අපායවල් තියෙනවා. තනිකරම දුක් නොවෙයි ඉඳහිටලා සැපත් තියෙනවා. සැප කියල කියන්න පුළුවන් සැප වේදනාත් තියෙනවා. අන්න ඒ විදියට බුදු පියාණන් වහන්සේ එතන දක්වනවා අර තුන්වෙනි කොටස. ඒක මිශ්‍රයි. කළු සුදු කර්ම. කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම. හතරවෙනුව දක්වනවා - ඒක තමයි ගැඹුරුම එක - නොකළු නොසුදු විපාක දෙන නොකළු නොසුදු කර්ම. ඒක විශේෂයි. ඒව හඳුන්වන්නේ සියළුම කර්ම ක්ෂය කිරීමට උපකාර වෙන ඒවයි කියල. ඒ කර්මය - නොකළු නොසුදු කර්මය කියන එක - සියලුම කර්ම ජයගන්න උපකාර වෙනවා. ඒක තේරුම් කරන්නේ මෙහෙමයි. යම්කිසි කෙනෙක් චේතනාවක් ඇතිකර ගන්නවා නම් ධර්මනුකුලව අර කලින් කියාපු කළු විපාක දෙන කළු කර්ම නැති කිරීමටත්, සුදු විපාක දෙන සුදු කර්ම නැති කිරීමටත් කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම නැති කිරීමටත්, කෙටින්ම කියතොත් සියලුම කර්ම නැති කිරීම සඳහා ඇති කර ගන්නා චේතනාවයි එතන හඳුන්වන්නේ නොකළු නොසුදු කර්ම හැටියට. ඒ කියන්නේ, කෙටින්ම හඳුන්වනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය - මැදුම් පිළිවෙත. නිවනට උපකාරීවෙන මධ්‍යම ප්‍රතිපදාවයි එතන බුදුපියාණන් වහන්සේ දක්වන්නේ. තවත් තැනක ඒක තේරුම් කරලා තියෙනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන අදහසම, බෝජ්ඣංග හත හැටියටත් - සත්ත බෝජ්ඣංග. සත්ත බෝජ්ඣංග කියල කියන ඒ බෝජ්ඣංග ධර්ම වැඩුවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර මට්ටමින් වැඩුවත් අන්තිමට සිද්ධ වෙන්නේ මොකක්ද, පින් පව්, කුසල් අකුසල් කියල කියන අර මුළු කර්ම චක්‍රයෙන්ම ගැලවෙන්න පුළුවන් වෙනවා අවස්ථා හතරකදී, සෝවාන් සකදාගාමී, අනාගාමී, අරහත් කියන - මේ පින්වතුන් අහල තියෙනවා. කර්ම චක්‍රයේ බලය බිඳින්න - කොටින්ම කියතොත් - කර්මයට හේතුව නැති කිරීමෙන්. සංස්කාර කියල කියන්නේ, පටිච්ච සමුප්පාද ධර්මයේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ කියල කියන්නේ, අවිද්‍යාව නිසයි මේ සංස්කාර ඇතිවෙන්නේ. අපි මේ කර්ම කියල කියන වචනයම තමයි මේ සංස්කාර කියලා සියුම් ආකාරයකින් මෙතන ප්‍රකාශ වෙන්නේ. අවිද්‍යාව කියල ගත්තෙත් ‘මමය’ ‘මාගේය’ කියන හැඟීම මුල් කරගෙන තමයි සියලුම කුසල් හෝ අකුසල් හෝ පින් හෝ පව් හෝ සිදු වෙන්නේ. එතකොට ඒව නැතිකර ගන්න නම් අර අවිද්‍යාව නැතිකරන්න ඕන. ඒකට උපකාර වෙන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව - ආර්ය අෂ්ටාංගික මාර්ගය. තවත් පැත්තකින් කියනවා නම් අර බෝජ්ඣංග හත වැඩීම. සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි උපෙක්ඛා කියල කියන බෝජ්ඣංග වැඩීම. ඒකයි බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයාට දෙන විශේෂ පණිවිඩය. බුදු කෙනෙක් උපන්නත් නැතත් කර්මය පිළිබඳ මතිමතාන්තර ලෝකයේ නොයෙකුත් ශාස්තෘවරුන් අතර තිබෙනවා. බුදු කෙනෙක් පමණයි මේ කර්ම වාක්‍යය බිඳින්න පුළුවන් මාර්ගය දක්වා වදාරන්නේ. අන්න ඒකයි මෙතන මේ හතරවෙනුව කියාපු කොටස ඉතාමත්ම වැදගත් වෙන්නේ. නොකළු නොසුදු විපාක ඇති නොකළු නොසුදු කර්ම. කුසල් අකුසල් දෙකම ජයගන්නවා.   දැන් මේක කිව්වහම ඇතැම් කෙනෙක් මේක වරදවා තේරුම් ගන්න පුළුවන්. එහෙම නම් පින් දහම් ඕන නෑ. කුසල් අකුසල් ගැන හිතන්න ඕන නෑ. එහෙම කියලා බේරෙන්න බෑ මෙතන. මෙතන ඉතාමත්ම සියුම් තැනක්. මෙතනත් බොහෝ දෙනා පටලවා ගන්නවා. ඕකයි අර ධර්මය ගැන ප්‍රකාශ කරනකොට බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ නයාගේ වල්ගෙන් අල්ලුවා වගේ ඇතැම් කෙනෙක් මේ වැරදි දෘෂ්ටි අල්ල ගන්නවා කියල. මෙතන තියෙන්නෙ මැදුම් පිළිවෙතක්. මේ මැදුම් පිළිවෙත වඩාත් ලස්සනට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරපු තැනක් තියෙනවා එක්තරා සූත්‍ර දේශනාවක. එක් අවස්ථාවකදී එක්තරා දේවතාවෙක් ඇවිල්ල බුදු පියාණන් වහන්සේගෙන් අහනවා “නිදුකාණෙනි, ඔබ කොහොමද මේ සැඩ වතුරෙන් එතර උනේ?” කියල. මේ සැඩ වතුර කියල එතන ඒ දේවතාවා යොදන්නෙ - මේ පින්වතුනුත් සමහරවිට අහල ඇති - ධර්ම විග්‍රහවල කියැවෙනවා ‘ඕඝ’ කියල වචනයක්. ‘ඕඝ’ හතරක් තියෙනවා මේ සංසාරික සත්ත්වයා ගසාගෙන යන, කාම, භව, දිට්ඨි, අවිජ්ජා කියල. කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ කියල. ඒ කියන්නේ කාම සිතුවිලි - ඒවා මහා සැඩ වතුරක් වගේ ගලාගෙන ඇවිල්ලා සත්ත්වයා ඒවායින් ගසාගෙන යනවා. ඊළඟට භවයේ පැවැත්ම සඳහා තිබෙන ආශාව, භව තණ්හාව. ඊළඟට නොයෙකුත් දෘෂ්ටි - දෘෂ්ටිවලට අහුවෙලා ගසාගෙන යනවා. අවසාන වශයෙන් අවිද්‍යාව - නොදැන්ම. මේව ඔක්කොම සැඩවතුරු හැටියට දක්වනවා. සංසාරික සත්ත්වයා ගසාගෙන යන සැඩවතුරු හතර. මේ සැඩවතුරු හතරට ගසාගෙන යන අතරේ මෙයින් එතරඋනේ කොහොමද කියන එකයි මේ දේවතාවා බුදුපියාණන් වහන්සේගෙන් විමසන්නෙ. බුදු පියාණන් වහන්සේ ඒකට ඉතාම කෙටි පිළිතුරක් දෙනවා. “ඇවැත්නි, මම මේ සැඩවතුරින් එතර උනේ නොනවතිමින් නොදඟලමින්. ‘නොනවතිමින්, නොදඟලමින් සැඩ වතුරින් එතෙර උනිමි’ කියල පිළිතුරු දෙනවා. ඒ කොහොමද කියලා තව විස්තර ඇහුවාම කියනවා”ආවුස්නි, මම යම් අවස්ථාවක නැවතුනා නම් - සැඩ වතුරට අහුලන වේලාවේ මම නැවතුනා නම් - ඒ වේලාවේ ගිලා බහිනවා. දැඟලුවා නම් ගසාගෙන යනවා. ඒක නිසා නොනවතිමින් නොදැඟලමින් තමයි මම සැඩ වතුරින් එතර උනේ. ඒ කියන්නේ පින්වතුනි, අර මධ්‍යම ප්‍රතිපදාවයි. මැදුම් පිළිවෙතයි. දැන් හිතලා බලන්න ඔය සොරොව්වකට ගසාගෙන යන්න වගේ එන අවස්ථාවක්, එහෙම නැත්නම් දියවැලකට අසුවුනු අවස්ථාවක්. ඒකටම ඉඩදීලා හිටියොත් අර කියාපු එකක් සිද්ධ වෙනවා. ඊළඟට නිසියාකාරයෙන් එයින් මිදෙන්න උත්සාහ කරන්නේ නැතිව දැඟලන්න ගත්තොත් ඒත් ගහගෙන යනවා. එක්කෝ යටට යනවා. එහෙම නැත්නම් ගසාගෙන යනවා. මෙන්න මේ විදියේ තත්ත්වයක් මේ කර්මය පිළිබඳව තිබෙන්නෙ. ඒ කියන්නේ මේ කර්මය පිළිබඳ ප්‍රශ්නවලදී මේක දිහා බලන්න ඕන, අන්න අර අකුසල් - පාපකර්ම - සංසාරික සත්ත්වයාට ඒවා විපාක දෙනවා. ඒව නැතෙයි කියල කියන්න බෑ. ඒක නිසා ඒව ජයගන්න ඕන කුසල්වලින්. මේකයි මැදුම් පිළිවෙත. අකුසලය වෙනුවෙන් කුසලය වැඩිය යුතුයි. පව් වෙනුවට පින් කළ යුතුයි. එහෙම කරලා යම්කිසි ස්ථාවරයකට එන්න ඕන. යම්කිසි සමාධියක්, කොටින්ම සමාධිමත් සිතක්, ලබාගන්න පුළුවන් වෙන්නේ අර ශීලාදී ගුණධර්ම රැක්කොත්. ශීලාදි ගුණධර්මවල තිබෙන්නෙ අන්න අර කුසල් අකුසල් වෙන් කරලා තේරුම් අරගෙන, පින්පව් තේරුම් අරගෙන, අර කුසල මාර්ගයේ ගමන් කිරීමයි. එතකොට මේව අහක්දාල බෑ. එතර වෙන්න කලින් පහුර කඩල බිඳල විනාශ කරගත්තොත් ඒ තැනැත්තාට එතෙර වීමක් නෑ. ඒක නිසා මෙන්න මෙතන මේ මැදුම් පිළිවෙත කියල කියන්නේ මෙතන නැවතීමකුත් නෑ. එක අන්තයකට යන්නෙත් නෑ. එහෙම උනොත් සමහරවිට ඔය කාමසුඛල්ලිකානුයෝගය කියල අපට ඕන හැටියකට ජීවත්වෙන්න පුළුවන්, විනෝදවෙන්න පුලුවන්, කියල ඒ අන්තයට යනවා. එහෙම නැතිව අනිත් පැත්තට ගියොත්, ඔන්න දඟලන්න පටන් ගන්නවා. අත්තකිලමථානුයෝගය වගේ. අර නිගණ්ඨයෝ කළා වගේ ඔක්කොම ගැට අහක්කරන්න ඕන කියල ඇඳුමෙ ගැටයත් අහක් කරල නිර්වස්ත්‍ර යන්න තරම් අන්තයකට යන කට්ටියක් ඉන්නවා. ඔන්න ඔය දෙක තමයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අන්ත හැටියට. නැවතී සිටීම, කාම සුඛල්ලිකානුයෝගය. මේ කුසල් අකුසල්, ගුණධම් ආදියක් ගැන නොතකා තමන්ට ඕන හැටියට පඤ්චකාම සම්පත්තියෙන් විනෝද වීම. අනික් අන්තය තමයි අර දැඩිව, මේ පින්වතුනුත් අහල තියෙනවා අතීතයේ හිටිය ඔය නිගණ්ඨයෝ වගේම තවත් නිගණ්ඨ පිළිවෙතටම ළංව බල්ලන් හැටියට ජීවත්වුන අය, ගවයින් හැටියට ජීවත්වුන අය. නොයෙකුත් වත දැඩිව අරගෙන ඒවායින් විමුක්තිය ලැබෙනවා කියල. ඔය නොයෙකුත් විදියේ මිථ්‍යා මත අරගෙන, ශීල ව්‍රත අරගෙන, ජීවත් වන අය තමයි අන්න අනිත් අන්තය. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ ශීලය උපකාර කරගෙන සමාධිය වඩා ගන්නවා. එතනුත් ලගින්නේ නැතිව, සමාධිය උපකාර කරගෙන ඊළඟට අන්න අර කියාපු අනිත්‍ය, දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නුවණින් දැකලා ප්‍රඥාව මතුකර ගන්නවා. ප්‍රඥාව මතුකර ගන්නවා කියල කියන්නෙ පින්වතුනි, අර කියාපු අවිද්‍යාව නැතිකර ගැනීමයි. අවිද්‍යාව නිසා නම් අර කුසල් අකුසල් වශයෙන් සැලකෙන සියලුම සංස්කාරයන් මේ චිත්ත සන්තානයේ ඇතිවෙන්නෙ, ඒ සංස්කාර සංසිඳවීමේ මාර්ගයයි එතකොට ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දීපු විශේෂ පණිවිඩය. මේ සංස්කාර සංසිඳවීමේ මාර්ගයයි. ඒකයි මේ ලෝකෝත්තර මාර්ගය කියල කියන්නෙ. දැන්, ‘සම්මා දිට්ඨිය’ කියල කියන එකෙත් පැති දෙකක් තිබෙනවා. බොහෝ දෙනා ඒක ගැන හරියට අවබෝධයකුත් නැතිවයි කථා කරන්නෙ. මේ සම්‍යක් දෘෂ්ටිය කියන එකේ එක පැත්තක් තමයි ‘කම්මස්සකතා සම්මා දිට්ඨිය’ කියන එක. කර්මය තමාගේය කියල කියන ඒ ස්ථාවරයේ ඉඳගෙන ඒකට මුහුණදෙන්න පුළුවන් ආකාරයට ක්‍රියා කිරීම. එතකොට පින්පව් පිළිබඳව, කුසල් අකුසල් පිළිබඳව හරි අවබෝධයක් ඇතිව, ඇස් ඇතිව ජීවත්වෙන්ට ඕන - කෙනෙක්. මොකද, එහෙම නැත්නම් අර භයානක දුගති තත්ත්ව වලට ගිහිල්ලා සංසාරය දිග්ගැස්සෙනවා. තවත් ඔලුව උස්සන්න බැරි තත්ත්වවලට යනවා. ඒකට ‘කම්මස්සකතා’ කියල කියන්නෙ, කර්මය මගේය කියන හැඟීම. මොකද කර්මය මගේය කියල කියන්නෙ? ‘මමය’ කියල කෙනෙක් නෑ කියල බේරෙන්න බෑ. මොකද, ‘මමය’ කියන හැඟීමක් ඇතිවයි අර කියන කර්ම කරන්නෙ. එහි විපාකය එනවාමයි. එහි විපාකවාරය එන්නෙත් ‘මම’ කියන එක උඩමයි. ඒක නිකම් හරියට ‘වගකීමක්’ වගේ දෙයක්. වගකීම කියන එක තමන් ගත්තු දෙයක්. ‘මමය’ කියල වගකීම අරගෙනයි යම්කිසි කෙනෙක් අර පාප කර්ම ආදියෙහි යෙදෙන්නේ. ඒකට අනුරූපවම ඒ තැනැත්තා කරා කර්මය ගලාගෙන එනවා. ඒක නිසා තමයි අර කර්මය ‘තමාගේය’ කියල කියන්නේ ‘මගේ නෑයා මගේ බන්ධුවරයා’ කියල කියන්නෙ. එතෙන්ට අනාත්මය කිට්ටුකරල වරදවලා තේරුම් ගන්න නරකයි. ඒක එක මට්ටමක්. ඒක කොටින්ම කියතොත් සංසාරික සත්ත්වයාගේ සමුදය පක්ෂයයි. දැන් මේ ඇතිවීම් - නැතිවීම් කියල දෙකක් තිබෙනවා. එයින් සංසාර සත්ත්වයා ඉන්නේම සමුදය පක්ෂයේයි කියල කියනවා. ‘සමුදය’ කියල කියන්නේ ඇතිවීම. හැම තිස්සෙම බලන්නෙ ඇතිකරන්නයි. ඇතිකරගන්නයි. අලුත් කරන්නයි. මුළු මහත් සංසාරික පැවැත්මම අර අනිත්‍යතාව වෙනුවට - අනිත්‍යතාව අමතක කරල - ලෝකය නිත්‍ය කියන හැඟීම ඇතිකර ගන්න දරණ උත්සාහයක්. නිත්‍ය සංඥාව. ලෝකය නිත්‍යය කියන හැඟීම ඇතිකරගන්න නම් කරන්න ඕනේ මොකක්ද? අර දිරාපත්වෙන දේවල්, නැතිවෙලා යන දේවල් බව අමතක කරලා ඒ වෙනුවට ඒවා අලුත් කරමින් ‘මේ හැම එකක්ම සදාකාලිකය’ කියන හැඟීම මතුකර ගන්න ඕන. මමත්මය කියන හැඟීමත් ඒක උඩයි යන්නෙ. එතකොට ඒ අනුව ඇතිකර ගන්න කර්මවලට විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් අනිත් පැත්ත තමයි ලෝකෝත්තර පැත්ත. ලෝකෝත්තර පැත්තේ මොකක්ද? ලෝකෝත්තර පැත්තෙ නිරෝධය දිහාව බලාගෙන ඉන්නෙ. ආර්ය ශ්‍රාවකයා නිරෝධය පැත්තටයි මූණදාලා ඉන්නේ. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා සමුදය පක්ෂයටයි මූණදාලා ඉන්නේ. තව විදියකින් කියනවා නම්, ‘අද මේ කොයිතරම් දුක් වින්දත් හෙට උදෑසන හොඳයි’ කියල හිතාගෙන වගේයි ඉන්නේ හැමෝම. මේ ජීවිතය ගෙවුනත් ඊළඟට තව ජීවිතයක් පතනවා. මේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරිවුනා. නමුත් ඉළහ ජීවිතයේ පුළුවන්. ඔන්න ඔය විදියට අවිද්‍යාවත් තණ්හාවත් උඩ යන ගමනක් තමයි මේ සංසාරය කියල කියන්නේ. ඒක අර සමුදය පක්ෂයේ ජීවත්වීමක්. අන්න එබඳු පුද්ගලයාට අර කියාපු කර්ම ධර්මතාව බලපානවා. ඒක නිසා ඒක පිළිගෙන ඒක අනුව ජීවත්වෙන්න බලන්න ඕන. එහෙම නැත්නම් ඒ තමන් ඉන්න තත්ත්වයටත් වඩා භයානක විදියේ තත්ත්වයකින් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට මෙයින් ගැලවෙන්න ඕන කරන්නෙ, ගැලවෙන්න උපකාර වෙන්නෙ, අර නිගණ්ඨයො කරා වගේ ශරීරයට නොයෙකුත් දුක් දීලා, ‘අතීත කර්ම මේ දුක් දීමෙන් මම ගෙවලා දානවා තවත් කර්ම මම කරන්නේ නෑ’ කියලා මුකවාඩම් බැඳගෙන එහෙම නැත්නම් ඇඳුම් එහෙමත් ඉවත් කරලා ඒ විදියට කරන අන්තගාමී උත්සාහයක් නෙවෙයි. මේ කර්මවල කර්ම වේග සංසිඳවන්න පුළුවන් වෙන්නෙ - බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නෙ - ප්‍රඥාවෙන්මයි. අවිද්‍යාව නැති කිරීමෙන්මයි. වෙන ක්‍රමවලින් බෑ. මේ සියළුම කර්ම ගෙවාදාලා ඉවර කරන්නත් බෑ. මේ කර්මක්ෂය කිරීම - දැන් මෙතන කියවෙන අර හතරවෙනි නොකළු නොසුදු කර්මයෙන් කර්මක්ෂය කරනවා කියල කියනව. කර්මක්ෂය කරනව කියල කියන්නෙ, දැන් මේ පින්වතුන් අහල තියෙනවා සෝවාන් පුද්ගලයා හත්සැරයක් උපදිනවා කියල. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? අර ඒ සෝවාන් මාර්ග ඥානයෙන් ලබන ශක්තිය උඩ, එයින් කැපී යන කෙලෙස්වල බලය නිසා, ඒ ශක්තිය උඩ සෝවාන් උන ආර්ය පුද්ගලයාට අපායට යන්න පුළුවන් කර්ම කරන්න බැරිවෙනවා. අපායට යන්න පුළුවන් වෙන්නේ අර දැඩි සක්කාය දිට්ඨියක් ඇතිව කරපු කර්මවලිනුයි. එතකොට සක්කාය දිට්ඨිය කියල කියන්නෙ ‘මමය මගේය’ කියන එකේ ඉතාමත්ම ඕලාරික, ගොරහැඩි පක්ෂයයි. අන්න ඒ අවිද්‍යා තට්ටුව කැඩෙනවා මාර්ග ඥානයෙන්, ඒක නිසා තමයි ඒ තැනැත්තාට අපායට යන්න බැරි. අපායෙන් මිදුනා, කොටින්ම කියතොත්. ඊළඟට අර මමත්වය අඩුවීමේම ප්‍රතිඵලයක් හැටියට තමයි තවත් උත්පත්ති හතකට පමණක් සීමා වෙන්නෙ. අන්න ඒ විදියටයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන්නෙ. මෙකයි මැදුම් පිළිවෙත. ‘නොනවතිමින් නොදැඟලමින්’ කියල කීවේ ඒකයි. ප්‍රඥාවෙනුයි මේ ප්‍රශ්න විසඳන්නෙ. වෙන කෘත්‍රිම ක්‍රමවලින් නොවෙයි. මොකද ඒ තරම්ම භයානකයි මේ සංසාරයේ කර්ම චක්‍රය. රහතන් වහන්සේලාටත්, බුදුවරුන්ටත්, මේ කර්ම විපාක දෙනවා. නමුත් ඒ අර අරගෙන ආපු ශරීරය - මේ අපි රහත් කෙනෙක්, බුදු කෙනෙක්, කියල කියන ඒ උත්තමයින් පවා මේ ලෝකයේ පහළ උනේ යම්කිසි කර්ම ශක්තියකින්, අන්න ඒකට අනුරූපව ඒ විපාක විඳින්න වෙනවා. නමුත් එතනින් ඉවරයි, ඒක. ඊට පස්සේ නැවත උත්පත්තියක් ලබන්නේ නෑ. අන්න ඒ ප්‍රශ්නය විසඳීමටයි බුදු පියාණන් වහන්සේ මේ මාර්ග ඵල වශයෙන් දක්වලා තිබෙන්නෙ. ඒ සෝවාන් තත්ත්වයේදී හත්වරක්, ඊළඟට සකදාගාමී නම් නැවත එක් වරක් පමණක් මෙලොවට එන, ඊළඟට අනාගාමීව බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා යම්කිසි කාලයක් ඉඳලා රහත් වෙලා පිරිනිවන්පානවා. මෙලොවම පරිනිර්වාණය ලබාගත්තු ඒ රහතන්වහන්සේලා, බුදුවරු පසේබුදුවරු නැවත උත්පත්තියක් ලබන්නේ නෑ. නැවත උත්පත්තියක් ලබන්නේ නෑ කියන්නේ අර එකතුවුන කර්ම රාශිය ක්ෂය කරා කියන එකයි. ඔන්න ඕකයි එතකොට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන විසඳුම. අපි මෙන්න මේ කාරණා නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් මෙන්න මේ කියාපු වැරදි දෘෂ්ටි - ඒ කියන්නේ පින්පව් දෙකෙන්ම සංසාරය වැඩෙනවා. පින්පව් කියන ඒ දෙකෙන්ම, එහෙම නැත්නම් කුසල අකුසල හැම එකකින්ම - සංසාරය දිග් ගැස්සෙනවා. ඒක නිසා අපි පින් ගැන උනන්දුවෙන්න ඕනෙත් නෑ. පව් ගැන නම් - කොහොමත් ඒ ගැන කථාවක් නෑ. ඒක කොහොමත් කෙරෙන එක නේ. නමුත් අමාරු දේ තමයි පින් කිරිල්ල - කුසල් කිරිල්ල - ‘ඒවා ගැන මහන්සි වෙන්න ඕන නෑ. ඒක කළොත් සංසාරය දික්වෙනවා.’ අන්න වැරදියට ගත්තා ඒක. අර නයාගේ වලිගෙන් අල්ලගත්තා වගේ. ඒක කළයුතු ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. අර කලින් කියාපු විදියට ශීලය තුළින් ප්‍රායෝගික මට්ටමකින් කය වචනය හික්මවා ගන්නවා. එයින් ලබන ප්‍රතිඵලය මොකක්ද, ඒ නිරවද්‍ය සුඛය කියල කියන පසුතැවිලි නැති බව - ඒක උපකාර කරගෙන ඊළඟට සමාධියක් ඇතිකර ගන්නවා. ඒ සමාධියෙත් ලැගල ඉන්නෙ නෑ. ඒකත් භවය දිග් ගැස්සෙන දෙයක්. ඒකත් අල්ලගන්නෙ නෑ බුදු පියාණන් වහන්සේ. ඒ වෙනුවට සමාධිය උපකාර කරගෙන ඒ තැන්පත්වුනු සිතෙන්, එකඟවුනු සිතෙන්, ත්‍රිලක්ෂණය විනිවිද දකිනවා. බුදු කෙනෙක් ලෝකයාට ඉදිරිපත් කරන විශේෂ දර්ශනය තමයි විදර්ශනාව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒකත් විදර්ශනාත්මක වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් හොඳ සමාධියක් තියෙනවා නම්. ඒ විදර්ශනා මට්ටමින් තමයි, විදර්ශනාව සැලකිය යුතු අන්දමින් දියුණු උනාට පසුව තමයි. අර කියාපු මාර්ග ඵල ප්‍රතිවේධය තුළින්, ඒ විනිවිද දැකීම තුළින් අවබෝධ කරගන්නේ මේ පඤ්චස්කන්ධයේම ‘මමය’ කියල කෙනෙක් නෑ. මෙතන මමත්වයක් ගන්න දෙයක් නෑ කියල. ඒ අවබෝධය ඇති උනාට පස්සේ, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය හරියටම අවබෝධ කරගත්තට පස්සෙ, අන්න ඒ තැනැත්තාගෙන් අර කියාපු සක්කාය දිට්ඨියෙන් සිද්ධවෙන විදියේ අකුසල් කුසල් ආදිය කෙරෙන්නේ නෑ. ඔය විසඳුමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ. අපි මේ භවය පිළිබඳව කෙටියෙන් කියැවෙන ගාථාවක් මෙතන මේ මාතෘකාව හැටියට තැබුවෙ. නමුත් අපි හිතාගන්ට ඕන මේ සංසාරික සත්ත්වයා විවිධ තත්ත්ව ලබන්නෙ අර කියාපු කුසල් අකුසල් හේදය උඩයි. පින්පව් දෙක උඩයි. ඒක සනාතන ධර්මතාවක්, එතකොට පහසුවෙන් පෙළඹෙන්නෙත් අර පාපකර්මවලටයි. ඒ පහසුවෙන් පෙළඹෙන නිසාම අපි යම්කිසි ස්ථාවරයක් ඇතිකරගන්න ඕන. අධිෂ්ඨානයක් ඇතිකර ගන්න ඕන. එහෙම නැත්නම් අරවට ඉබේටම ඇදිල යනවා. අනිත් අයගේ කර්මවලට ඇදිල යනවා. එහෙම ඇදිල ගිහිල්ලා තමන්ට භයානක අපාය ආදී තැන්වල දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා යම්කිසි ශීල මට්ටමක් අවශ්‍ය වෙනවා. ශීලය කියන එකෙනුත් දීර්ඝකාලයක් වැඩූ ශීලය වඩා ශක්තිමත්. සුළු කාලයක් වැඩූ ශීලයේ ශක්තිය අඩුයි. ඒක නිසා තමයි දැන් මේ පින්වතුන් සිල් සමාදන් වෙනවා කියල කියන්නෙ. එහෙම නැත්නම් තමන්ට අයිති පංචශීලය රකිනවා කියල කියන්නෙ. ඒවා සමාදන් වෙලා ඒක අධිෂ්ඨාන කරගන්නවා. අධිෂ්ඨාන කරගෙන ආවර්ජනය කරනව. ආවර්ජනය කරල ඒ වගේම යම් යම් අවස්ථාවල්වල ඊට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න වේලාව ආවහම අර කියාපු විදියට සම්ප්‍රාප්ත විරති වශයෙන් පැමිණි අවස්ථාවෙන් වැළකීමට විරති චෛතසිකය ඉදිරිපත් කරගන්නවා. වෙන්වීමේ සිත. ඒ වෙන්වීමේ සිත ඉතාමත්ම උපකාර වෙනවා අර විදියේ භයානක අවස්ථාවලින් බේරෙන්ට. ඊළඟට, ඒ විදියට ඒ ශීලයෙන් ඇතිකරගත්තු ශක්තිය තුළින් තමයි සමාධියක් ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදියට කල්පනා කරලා බලන කොට බුදු පියාණන් වහන්සේ දක්වපු මැදුම් පිළිවෙතේ නියම අර්ථය මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් වේවි. ඊළඟට මේ හැම එකක් තුළින්ම අපි කල්පනා කරන්න ඕන මේ සංස්කාර ස්වභාවය. මේ සංස්කාර කියල කියන සිතෙන්ම මවන මේ පැවැත්ම - මේකට අනුරූපවමයි ඒ ලෝක තියෙන්නෙ. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ඒ ඒ කර්මානුරූපවම සමහර විට වෙනම ලෝක පහළවෙනවා. දැන් කල්පයක් අවසාන වෙනකොට ඇතැම් කෙනෙකුට වෙනම බ්‍රහ්ම විමාන පහළ වෙනවා කියල කියනවා. එයින් පේනවා මේ සිත කොයිතරම් බලගතු දෙයක් ද කියලා. මේ අපේ සිතෙන් කෙරෙන කර්ම රැස් කිරීම කියන එක. ඉතින් මේකට යටින් තියෙන්නේ අන්න අර කියාපු අවිද්‍යාවයි. හරියට අන්ධකාරයක් වගේ ඒ අවිද්‍යාව කියන එක - ඒ අවිද්‍යා අන්ධකාරය නිසා මමය මාගේය කියන මුළාව ඇතිකරගෙන ලෝක සත්ත්වයා මේ විදියේ ක්‍රියාකාරීත්වයකට පෙළඹෙනවා. එයින් මිදෙන්න නම් ක්‍රම ක්‍රමයෙන් අර කියාපු විදියට ශීල, සමාධි, ප්‍රඥා අහක දාන්නෙන් නැතිව බදාගන්නෙන් නැතිව මධ්‍යස්ථ තත්ත්වයකින් මේවායින් ප්‍රයෝජන අරගන්න ඕන. ඒක ඇතැම් අවස්ථාවල දක්වලා තිබෙනවා රථ හතකින් ගමන් කිරීමකට. ඒ කාලේ දැන් මේ කාලේ වගේ නෙවෙයි හදිසි ගමනක් උනොත් අශ්ව රථ කීපයක් ඒ ඒ තැන්වල නතර කරලා තියෙනවා. එක රථයකින් ගිහිල්ලා අනිත් එකට ගොඩවෙනවා. ඒ අශ්වයින්ට වෙහෙස වෙනකොට, ඒකෙන් තවත් එකකට ගොඩවෙනවා. ඔන්න ඔහොම ඔහොම අශ්ව රථ හතකට මාරුවෙමින් පසේනදී කොසොල් රජ්ජුරුවෝ හදිසි අවස්ථාවක සැවැත් නුවර ඉඳලා සාකේත නුවරට ගිය උපමාව දක්වලා තිබෙනවා. අන්න ඒ විදියට තමයි මෙතනත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ එක් එක් විශුද්ධිය. ශීල විශුද්ධිය උපකාර කරගෙන චිත්ත විශුද්ධිය ඇතිකර ගන්නවා. චිත්ත විශුද්ධිය උපකාර කරගෙන දිට්ඨි විශුද්ධිය ඇතිකර ගන්නවා. ඔය විදියට විශුද්ධි පරම්පරාවල් හතක් ගෙවලා තමයි අවසානයේදී මාර්ග ඵල තත්ත්වයන් ලබාගන්න පුළුවන් වෙන්නෙ.   ඔයින් අපට හිතා ගන්න පුළුවන් එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වපු මැදුම් මග කොයිතරම් පුදුම සහගත ද කියල. සාමාන්‍ය ලෝකයාට මේ සංසාරයෙන් මිදෙන ක්‍රමයක් සොයා ගන්න බැහැ. මොකද, එක්කෝ ගිලෙනවා, එකතැන ඉඳලා. එහෙම නැත්නම් දැඟලලා ගහගෙන යනවා, මේ සැඩවතුර කියන එකත් - දැන් මේ අපි කරන හැම කර්මයක් තුළින්ම මේ චිත්ත සන්තානයට කිඳාබහින කොටසක් තිබෙනවා. චිත්ත සන්තානයට කිඳාබසින කොටස මේ ධර්මයේ හඳුන්වන්නෙ ‘අනුසය’ කියල. යම්කිසි බර දෙයක් යටට ගිලා බහින්න වගේ අපේ චිත්ත සන්තානයට මේ දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන අතරේ අනුසය වශයෙන් ඇවිල්ලා තැන්පත්වෙන කොටසක් තිබෙනවා. ඒ වගේම ‘ආසව’ කියල දෙයක් තිබෙනවා. ආසව කියල කියන්නේ ගලාගෙන එනවා - ගලාගෙන ඒමක් කියන අදහස තිබෙනවා - ආශ්‍රව. ඊළඟට තව කොටසක් තියෙනවා ගසාගෙන යන - ඒකට තමයි ඔය ඕඝ කියල කියන්නේ. අපි දැන් මෙතෙක් අර සැඩ පහරවල් කියල කිව්වෙ. ඒ කියන්නෙ. මොකක්ද? සංසාරික පුරුදු. මේ අපි කරන හැම කර්මයක් තුළින්ම පුරුද්දක් ලැබෙනවා. ඒක නිසා තමයි අපි අර කලින් කිව්වෙ චක්‍රයක් කියල. මේ කර්ම චක්‍රය කියල කියන්නෙ. කොටින්ම ධර්මයේ සමහර විට දක්වනවා කම්ම වට්ට, විපාක වට්ට, කිලෙස වට්ට කියල. මේ වට්ට කියන වචනය බොහෝවිට යෙදෙනවා. වට්ට කියල කියන්නෙ වට රවුමෙ යාමක්. එහෙම නැත්නම් චක්‍රයක්. මේ හැම එකක්ම චක්‍රයක් බවට හැරෙන්නෙ කොහොමද? මේවා පුරුදු බවට පත්වෙනවා. ඒ සංසාරික පුරුදු කඩන එක ලේසි නෑ. ඒක කඩන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ පුරුදු එකතු වෙනවා. එක කර්මයක් කළා කියනකොට - අපි දැන් කිව්වේ අර මැණික්කරු මස් කපා කපා හිටිය නිසා එයාට බොහොම පහසු වුනා තවත් ලේ පෙරෙන කර්මයකට මාරුවෙන්ට, අන්න ඒ වගේ අපි කරන එක කර්මයක් තවත් එකකට උපකාරී වෙනවා පුරුදු හැටියට, ආසේවන වශයෙන්. හොඳ හෝ වේවා නරක හෝ වේවා. ඉතින් ඔහොම ගිහිල්ලා ඒ එක්කම චිත්ත සන්තානයට කිඳා බහින කොටස තමයි අනුසය කියල කියන්නෙ. ඒවා ලෙහෙසියෙන් ඉවත් කරන්න බෑ. ඒ වගේම ආශ්‍රව කියල කියන්නෙ ගලාගෙන එන කොටස. එතකොට රහතන් වහන්සේලා පින්වතුනි, ඔන්න ඔය කියාපු අනුසය, ආශ්‍රව, ඕඝ කියල කියන අර කිඳාබසින කොටසත් ඉවත් කරනවා. අර ගලාගෙන එන කාම, භව, දිට්ඨි ආදී වශයෙන් කියන ආශ්‍රව ශක්තීනුත් ක්ෂය කරනවා, ඊළඟට ඕඝ කියල කියන අර සැඩ වතුරිනුත් මිදෙන්න පුළුවන් ශක්තියක් ඇතිකර ගන්නා හිතක් තමයි, රහත් හිතක්, බුදු කෙනෙකුගේ හිතක් කියල කියන්නෙ. අන්න ඒ තත්ත්වය සඳහායි බෞද්ධයා ඔක්කොම පිළිවෙත් පුරන්නේ. ඒ මිසක් අර සාමාන්‍ය ලෝකයා හිතන විදියේ සුළු දේකටනෙවෙයි. සමාජ ධර්ම ටික රැක ගන්න නෙවෙයි. සමාජය හොඳින් පවත්වා ගන්න කියන ඒ ඉලක්කට විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු අදහසක් තියෙනවා. තම තමන්ගේ සංසාරික විමුක්තිය තමන්ට අයිතියි. තමන්ගේ කර්මයට - ‘කම්ම දායාදා’ කියල කිව්වේ - තමන් අරගෙන ආපු කර්ම සම්භාරයට වග කියන්ට ඕන. තමන් කරන කර්ම සම්භාරයට වග කියන්නත් ඕන තමන් මේ සංසාරයෙ. එයින් මිදෙන මාර්ගය බුදු පියාණන් වහන්සේ අවසානයට දක්වා වදාළේ අන්න අර කියාපු නොකළු නොසුදු කර්ම හැටියට. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර මට්ටමෙන් වැඩීමයි. සමුදය පක්ෂය දිහා බලාගෙන හොඳ නරක පිළිබඳ සාමාන්‍ය වැටහීමක් ඇතිව කරන ටිකට කියනවා “සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා” කියලා. ආශ්‍රව සහිතයි. ඒක පිළිගන්නවා. ආශ්‍රව සහිතව, පින් පැත්තට උපධින් එකතු වන - උපධි කියන්නෙ සංසාරික වශයෙන් නොයෙකුත් භව හෝග සම්පත් ආදිය දෙන. ඒ විදියේ සම්‍යක් දෘෂ්ටියකුත් තිබෙනවා. ඒ වගේම ගැඹුරු සම්‍යක් දෘෂ්ටිය මොකක්ද, චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්‍යක් දෘෂ්ටියයි. මේ මුළු මහත් පැවැත්මම දුකක්ය. ඒකට හේතුව තණ්හාවය. මේ තණ්හාව සංසිඳවීමම නිවනය. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයය කියන ඒ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියල කියන්නෙ. එතකොට ලෞකික වශයෙන්, එහෙම නැත්නම් සංසාරික වශයෙන්, සත්ත්වයාගේ හොඳ - නරක තේරුම් ගැනීම අර පහළ මට්ටමේ සම්‍යක් දෘෂ්ටියයි. ඒකට තමයි අර ‘කම්මස්සකතා සම්මාදිට්ඨි’ කියල කියන්නේ. පින් පව්, හෝ - නරක පිළිබඳව අවබෝධය. ඒකෙන්ම සියල්ල සිද්ධවෙන්නේ නෑ. ඒක උඩ ඉඳලා අර විදියේ අවශ්‍යතාවත් සම්පූර්ණ කරගෙන අවසාන වශයෙන් - අවසාන ඉලක්කය විය යුත්තේ - මේ චතුරාර්ය සත්‍යය ගැඹුරින් අවබෝධ කරගැනීමයි. මුළු මහත් පැවැත්ම දුකක් කියල කියන්නෙ මෙතන ‘ආත්මයක්’ ‘මමෙක්’ කියල දෙයක් නෑ කියන එකයි. ඒ අවබෝධය කරා යන ක්‍රමය තමයි බුදු රජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගැඹුරු පැත්තෙන් දක්වලා තියෙන්නෙ. ලෝකෝත්තර සිතක මේ අංග අටම පහළ වෙනවා. දැන් සාමාන්‍ය ලෝකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියල එක එකක් වෙන වෙනම අරගෙන ‘සිල්ලර ගණනට’ වඩාගෙන දියුණු කරගෙන යනවා. නමුත් අර ලෝකෝත්තර සිතකයි භාවනාමය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙන්නෙ. එකම සිතක අංග අටම එක සැරේට පහළ වෙනවා කියනවා. ඒ කියන්නේ අර අංග අටම කෙළින් උනා. දැන් අපි හිතමු, ඇදවෙලයි ඒ අංග අට තිබෙන්නෙ. අංග අට එක එක විදියට ඇද වෙලයි තිබෙන්නෙ. මේක යම් අවස්ථාවක සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සමාධිය දක්වා අංග අටම කෙළින් උන අවස්ථාවෙම තමයි අන්න අර මාර්ග ඵල අවබෝධය එන්නේ - ගැඹුරු අර්ථයෙන් බලනකොට. ඒක නිසා සාමාන්‍ය ලෝකයා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියල වඩන එකට වඩා ගැඹුරක් තියෙනවා ලෝකෝත්තර තත්ත්වයේ. අන්න එතකොට මේ තුළින් මේ පින්වතුන් කල්පනා කරගන්ට ඕන අපි මේ කර්මයත් පුනර්භවයත් පිළිබඳව යම්කිසි ගැඹුරින් ගැඹුරට යන කාරණා රාශියක් මතුකර ගත්තා මේ කථාන්තරයත් ගාථාවත් ආශයෙන්. අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස රැස්කර ගත්තු ධර්මඥානය තම තමන්ගෙ ජීවිතයට ළංකරගෙන, මේ කියාපු ශීලාදි ගුණධම් නොතකා හරින්නේ නැතිව, ඒ තුළින්, ඇතිකරගත්ත සංයමය තුළින්, ඊළඟට සමාධියක් ඇතිකර ගෙන, ඒ සමාධියෙන් අර කියාපු විදර්ශනාමය ප්‍රඥාව ලබාගෙන මේ අතිභයානක සංසාරයෙන් අත්මිදෙන්න අධිෂ්ඨාන කරගන්න ඕන. අද දින මේ ධර්මදේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් අප රැස්කර ගත්තු පුණ්‍ය සම්භාරයෙන්, ඒ වගේම මේ පින්වතුන් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය තුළින් ඇතිකර ගත්තු ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන චිත්ත ශක්තීන් හැම එකක්ම අර කියාපු සංසාරයෙන් එතෙරවීම සඳහා - නොනවතිමින් නොදඟලමින් මේ සැඩ වතුරින් එතෙරවීම සඳහා - ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වේවා කියල ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ පින්වත් පිරිසට දැන් අද අපේ මේ පොඩි ශාලාව ටිකක් ලොකු වුනු අවස්ථාවක්. මේ සඳහාත් මේ සැදැහැවත් උපාසක උපාසිකාවන් යම් යම් තරමින් උපකාර වෙන්න ඇති. ආධාර කරන්න ඇති. ඒ වගේම ආසනයකුත් පූජා කරල තියෙනව ධර්මාසනයක් වශයෙන්. අපි වැඩිය බලාපොරොත්තු නැතත් ධර්ම ගරුත්වයෙන් ධර්මාසනයක් පූජා කරල තියෙනවා. මේ කොයිවටත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර වුනු මේ පින්වතුන් ඒ කුශලයත් සිහිපත් කරගෙන දැන් මේ විශේෂ ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස්කර ගත්තු කුශල සම්භාරයත් උපකාර කරගෙන මේ සියලුම කුශල් ශක්තිය තුළින් මෙලොව තමන්ගේ නිවන් ගමනට බාධක වන යම් ධර්ම තිබෙනවා නම් ඒවා ඉවත්වේවා! උපකාර ධර්ම ලඟාවේවා ධම්මය සැනසුමකින් යුක්තව අර කියාපු කර්ම වේග සංසිඳවාගෙන අවසාන වශයෙන් ධර්ම ශක්තිය තුළින් ධර්ම චක්‍රයෙන් මුළු මහත් කර්ම චක්‍රයම ජයගන්න මේ කුසල ශක්තියත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාත් තම තමන්ගේ නමින් නැසී මිය පරලොව ගියාවූ ඥාතීනුත් ඇතුලුව අවීචියේ පටන් අකනිට්ඨාව දක්වා වූ සියලුම සත්ත්වයෝත් මේ ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණමය කුශලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී හැකිතාක් ඉක්මණින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමාමහ නිවනින් සැනසෙන්වා කියන ඒ ප්‍රාර්ථනාව ඇතිකර ගෙන මේ ගාථා කියල පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්මෙහි…….’